ප්‍රථමයෙන් මේ දර්ශනය කාචයට හසුකරගත් නිශාන්ත ප්‍රියදර්ශනට අපගේ ප්‍රණාමය හිමි කරන්න ඕනි.
දෙවනුව රටවෙනුවෙන් මහමගට බට දුවේ, නුඹ ගැන ලියන්නට බොහෝ දෑ ඇත.
තෙවනුව මේ තරුණියට බැට දෙන පොලිසියේ මහත්මයාට කිවයුතු දේවල් ද බොහොමයක් ඇත.
මිලියන 20ක ජනතාවගේ ජීවිතවල එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව දස අතේ විඳින්නට සිදුව ඇති දුක් දරාගත නොහැකිව මහමගට බැස, අපේම මිනිසුන් වෙනුවෙන් ජීවිතය පරදුවට තබා #GoHomeGota කියමින් රටපුරා අරගල කරන නුඹවන් තරුණ තරුණියන්ට පිළිම නෙලා පුද සත්කාර කිරීමට තරම් අපි සියල්ලෝම නුඹලාට ණයගැතිය.
ඇය මේ පහර කන්නේ මිලියන 20ක ජනතාව සතුටින් තබන්නටය. ඔවුන් ගේ සිහින සැබෑ කර දෙන්නටය.
එසේනම් පොලිසියෙන් පහර කෑ මේ තරුණියගේ වේදනාව අප සියල්ලෝගේමය.
මාසයක පමණ කාලයක් තිස්සේ ජනතාව දුකින් මුදවා ගැනීමට හොරුන් එළැවිමට අරගල කරන තාරුණ්‍යයට අප ලබාදෙන්නේ කිනම් සහයෝගයක් ද?
නිවසටවී තමන්ගේ මුතුන් මිත්තන් ගේ දරු හුරතල් බලමින් කාලය ගත කරන මුතුන් මිත්තන්ගේ පටන් තරුණ වයසේ පාසැල් සිසු සිසුවියන් දක්වා වූ මුළු ජන ඛාණ්ඩයම රූපවාහිනියෙන් මේ සංදර්ශන බලා සතුටු වන්නේ තරුණයින් රට පෙරලන්නට කරන තැත ගැන කතා බස් කරමින්ය. එක්කෝ උන්හට බැණ වදිමින්ය, එක්කෝ උන්හට ජයවේවායි පතමිනි.
මේ තරුණයින් සමග එකාමෙන් උරෙනුර ගැටී මේ හොරු පන්නන්නට මහා මගට බැස ඇත්තේ කීයෙන් කී දෙනාද? අරගලයෙන් රට වෙනස් කිරීමට හැකි වුවහොත් ඉන් ප්රතිලාභ ලබන්නේ කවුරුන්ද?
මේ රටේ මහජනතාව මිලියන 20කි. ඉන් බහුතරය මුහුකුරා ගිය උන්ය. මේ රජය සහ පසුගිය රජයන් මංකොල්ල කෑවේ මේ තරුණයින් ගේ මුදල්, අනාගතයය පමණක් නොවේ. මුළු ජනතාවගේම දේවල් ය. ඉන්ධන අර්බුධය බලපාන්නේ සියල්ලන්ටමය, විදුලිය කප්පාදු කරන්නේ ද සියල්ලන්ගේමය, මුදල් හොරකම් කලේ මුළු ජනතාවගේමය. එසේනම් තරුණයින් පමණක් මේ අරගලභුමියේ තනිවිය හැකිද? තරුණයින් පමණක් පොලිස් නිලධාරීන්ගෙන් බැටන් පහර කෑ යුතුද?
අපි සියල්ලෝම මොහොතකට සිතා බැලිය යුතුය. වරද කාගේද? වැරැද්ද නිවැරදි කිරීමේ වගකීම අපි සියල්ලෝම සතුය.
Add comment