කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි නුඹ බිමින් තියන්න කියල අඬද්දිත් මම නුඹව වඩාගෙන යටි පතුල් වල කර ගැට එනකම්ම හැතැප්ම ගණන් ඇවිද්දේ කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි අපි එක වේලක් විතරක් කාල හිටියේ කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි නුඹව පාසල් ගෙනියන වෑන් එක ආවේ නැත්තේ උඹව ගෙනියන්න කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි අපිට ගෙදර ඉන්න බැරිවුනේ අනිත් උන් පාරට බහිද්දී කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි මම නුඹව ගෙදර එක්ක නොගිහින් මහා සුලඟින් බේරගන්න උඹව බදාගෙන හිටියේ කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි උඹට දෙන්න කෑම නැතිව ඇයි වතුර විතරක් මට තිබුනේ අපි සීතල පදිකවේදිකාවේ වාඩිවෙලා ඉන්දැද්දී කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි මගේ පපුව මහා හය්යෙන් ගැහුනේ පොලිසියේ මාමලා අපිව වටකරගෙන ඉන්දැද්දී කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි අයි මම උඹව පරිස්සම් කලේ අපිව ආරක්ෂා කරන අය කියල මම උඹට උගන්නවපු මිනිස්සුන්ගෙන්.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ අරගොල්ලෝ අල්ලාගෙන ඉන්න පලිහ, කට වහගෙන ඉන්න ඒවයින් ආරක්ෂා කලේ අපිව නොවෙයි ඒ ගොල්ලන්වම බව.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි මගේ කටේ හඬ නැතිවගියේ උඹව එල්ලගෙන රටවෙනුවෙන් සටන් කරන්න ගිහින් කියල.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ ඇයි නුඹට නිදාගන්න බැරි තරමට මහා හඬින් GO HOME GOTA කියල කෑගහපු ඒ හඬවල් වල තිබූ වේදනාවේ ගැඹුර.
කවදා හරි දවසක නුඹට තේරුම් යාවි පුතේ මම සටන් කලේ මම වෙනුවෙන් නොවෙන වග, මම සටන් කලේ මට කන්න නැති නිසාවත්, මට මහන්සි නිසා වත්, මට උණුහුම සිසිල නැති නිසාවත් නොවෙන වග, මම සටන් කලේ මගේ රට වෙනුවෙන් වග, මම සටන් කලේ අනෙක් මිනිසුන් වෙනුවෙන්, නුඹ වෙනුවෙන් වග.

Mihiri Vindeni

View all posts

Add comment

Your email address will not be published. Required fields are marked *