පුදුම හිතෙන, නමුත් පුදුම වෙන්නට දෙයක් නැති පණිවිඩයක් බුකියේ දාල තිබුන.
” ඉතාම ඉක්මනින් ඔන්ලයින් සල්ලි හම්බ කරන්න පුළුවන් ක්රමයක් තියෙනවද? “
දැක්කම හිරිකිතයි, නමුත් මේක තමයි අපේ මිනිස්සුන්ගේ මානසික තත්වය.
මොකක්ද හිතෙන්නේ?
මිනිස්සු ඔක්කොටම ඉතාම ඉක්මනින් සල්ලි හම්බ කරන්න ඕනෑ වුනොත් කොයි වගේ වෙයි ද?
මුකුත් ම වෙන එකක් නැහැ. ඒ මොකද දන්නවද ඒක තමයි සියයට 90කට විතර ලංකාවේ මිනිස්සුන්ට හැමදාම තියෙන මානසිකත්වය. ඔන්න ඕක නිසා තමයි ඉතා ඉක්මනට වෙනස් වෙන්නෙත් නැති system එකක් අපේ රටේ තියෙන්නේ.
උදේ පාන්දරම දවල්ට බත් වඩියක් බැඳගෙන ගෙදරින් පිටවෙලා වීල් එකේ රවුමක් දෙකක් ගිහින් බුකියේ අතරමන් වෙන ගොඩක් මිනිස්සු හිතන්නේ ඔන්න ඔය විදිහට තමයි. මහන්සියට හරියන්න ගානක් අතට දීලත් හදිසියකට වත්තක් සුද්ද කරගන්න, පොල් ගෙඩියක් කඩා ගන්න, වහලේ උළු කැටයක් තියා ගන්න, වැටට ඉන්නක් හිටව ගන්න මිනිස් පුළුටක් සොයාගන්න නැහැ. නමුත් ඔනෑම පාරක් දිගේ ගියොත් නිකංම නිකං අලගු තියාගෙන ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? නමුත් ඒ ඔක්කොම බලාගෙන ඉන්නේ ඉක්මනින් ම සල්ලි හම්බ කරන්නේ කොහොමද කියල. දැන් ඉතින් අපි system change කරන්නේ කොහොමද?
ඉක්මනින් සල්ලි හම්බ කරන්න අවුරුදු 76ක් එක එකාට චන්දෙ දීල තවමත් ඒකට හරියන ක්රමයක් සොයා ගන්න බැරි වුනු මේ අය, මේ ගමන මාලිමාවේ උතුරු දිසාවට හැරිලා තියෙන කටුවේ එල්ලුනේ ඉක්මනින් ම සල්ලි ටිකක් සොයා ගන්න ක්රමයක් බලා පොරොත්තුවෙන් වත් ද ? මාලිමාවේ උතුරු කටුවට ඔච්චර දෙයක් කරන්න බැරි බව දැනුන දවසක මේ අයම ආයිත් මොනවා කරයි ද?
ඉතින්, මේකට මොනවද කරන්නේ? ඉහල ඉඳන් පහළටත්, පහල ඉඳන් ඉහළටත් ජරා ජීරණ වෙලා තියෙනේ මේ පාවෙන ජීවිත වලට ස්ථිර සාර අත්තිවාරමක් දාන්න අනුර ඇතුළු 22ක්ට විතරක් පුළුවන් ද? හරි, අපි 159ම ගත්තත් ලක්ෂ 55ක බලාපොරොත්තුව ඉටුකරන්න දවස් 1825ක් මාලිමාවට ඇති වෙයි ද?
ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. බහුතරයක් මිනිස්සු චන්දය දෙන්න පුරුදුවෙලා තියෙන්නේ අත මාරුවක් ගන්න බලාගෙන මිසක් අනිත් එකාට, ගමට, රටට හොඳක් වෙනවා දකින්න නෙවෙයි. ඉතින් එහෙම නම්, අනුර ඇතුළු මේ අලුත් මන්ත්රණ සභාවට කල්පනා කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තු කණ්ඩායමේ ආරක්ෂාව අයින් කරන්න කලින්, ජනතාව ඉල්ලන මේ නා නා ප්රකාර ඉල්ලීම් ඉෂ්ට කරන්න පුලුවන්ද කියල ? එහෙමත් නැතිනම් ඔන්න ඔය ඕන මගුලක් වෙච්චදෙන් කියල ආරක්ෂාව තව ටිකක් තර කරගෙන පොරොන්දු වෙච්ච system change එක කරනවද කියල. එහෙම නැතිව මේ දීගේ කන එක එතරම් ලේසි වෙන්නේ නැහැ කියන එක අපි හැමෝම දන්නවා.
එහෙම බලාගෙන ගියාම මාලිමාව ඉන්නෙත් අර ” ලිප ගිනිමොලවන තෙක් දිය සැලියේ..සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ” කියන තැනම ද?
නැවත සිහසුනේ රැඳවීමට, අරගලය ඉදිරියේ පරඩලක් වගේ සුළඟට ගසාගෙන ගිය ගෝටාභය රාජපක්ෂ ලැබුන හැටනම ලක්ෂයක චන්දයට බැරි වුනා වගේම, මෙවර මහමැතිවරණයෙන් මාලිමාවට ලැබුන මන්ත්රී ආසන 159 ගැනත්, විසි එක් දෙනෙකුගෙන් යුත් සකසුරුවම් කැබිනෙට්ටුව ගැනත් උත්කර්ෂවත් නොවී, එකම ලාංකික ජාතියක් ලෙස ආණ්ඩුව, රජය සහ මුළුමහත් ජනතාවම “සාමූහික වගකීමකින්, වගවීමකින්” කටයුතු කලේ නැත්නම්, අරගලය හැර වෙනත් විසඳුමක් තියේවිද?
Add comment