ආර්ථික අර්බුධයේ අතුරු ඵලයක් ලෙස මේ දිනවල ශ්‍රී ලංකාව පුරා පැතිරී යන තෙල් සොරම් සහ ගෑස් සොරකම් ගැන පොඩි සටහනක් තැබීම කාලෝචිතයයි සිතමි. බොහෝ දෙනෙක් නිරන්තරයෙන් ම තෙල් පෝලිම් වල දින ගණනක් ගෙවා ඇති බව අපට නිතර අහන්නට ලැබේ. එහෙත් රජය සිඟා කා ගෙනෙනා තෙල් වාෂ්පවී යන්නාසේද දක්නට ඇත. ඒ අවශ්‍ය ප්‍රමාණයට තරම් ඉන්ධන මිලදීගැනීමට මුදල් භාණ්ඩාගාරයේ නැති නිසාය. අප ඒ බවත් අසා ඇත්තෙමු.
පාරට බට කිසිම මොහොතක ත්‍රීවීලයක් හෝ වෙනත් කුලී වාහනයක් සොයා ගැනීමට තරමක අසීරු තාවයක් ද රට තුල පවතී. තම තමන්ගේ හදිසි අවශ්‍යතා සඳහා තෙල් ටැංකි පුරවා තබා ගැනීමටද සමහරෙක් කටයුතු කරනා බව අප දනිමු. එයට අමතරව ප්ලාස්ටික් බූලියකට ද තෙල් ටිකක් එකතු කරගෙන තබා ගැනීමට ද තවත් සමහරෙක් අමතක නොකරන්නේය.
දැන්, ප්‍රශ්නය වී ඇත්තේ වාහන වලට එකතු කරනා මේ තෙල් කළු කඩයට විකිණීමේ ජාවාරමක් ඇතිවීමයි. ඒ අතරම සමහරෙක් පිට පාරෙන් ගොස් තෙල් ගසා ගැනීමද, තවත් සමහරෙක් මහා මග යන ගෑස් ප්‍රවාහන රථ වලින් ගෑස් ලබා ගැනීමද යනාදී වශයෙන් වන අක්‍රමිතා රැසක් සිද්ධ වීමය.
ගැටලුව වන්නේ, මෙයට විසඳුමක් සෙවීමය.
පොලිසියේ නිලධාරින් පෝලිමේ නොසිට පෝලිමෙන් පිට තෙල් ලබා ගැනීම, තමන් සතු වරප්‍රසාදයක් යැයි සිතනා අතර කුලී වාහන පැදවීමෙන් ලැබෙනා මුදලට වඩා වැඩිමුදලක් නිවසේ සිටම රැස්කරගත හැකි නව ආදායම් මාර්ගයක්, කළු කඩයට තෙල් විකිණීමෙන් ලැබෙනා හෙයින්, කුලී රථ රියදුරන් මහන්සි නොවී කරනු ලබන මෙම රැකියාව තවත් කාලයක් තිස්සේ කිරීමට මැලි නොවෙනු ඇත.
දැන්, මෙම ගැටලුවට විසඳුමක් සෙවීම අසීරු වෙමින් පවතී.
තමන් ගැන පමණක් සිතනා කුසීත, පල් හොරුන් රජය කරනා රටෙක ඔවුන් ගේ අනුගාමිකයින් ඉන් බැහැරට ගොස් සිතන්නට කිසිවිටෙක නැඹුරු වන්නේ නැත.
උපන් දා පටන් විවාහ වෙන තෙක් සහ ඉන් මත්තට ද තම දෙමාපියන්ගේ මුදල්, දේපල බලාපොරොත්තුවෙන් ජීවත්වෙන සමාජයක අනුන්ගේ දේ කඩා වඩාගෙන නිකන්ම ලැබෙන මුදලින් ජිවත් වීමට බලාපොරොත්තුවෙන මිනිසුන් සිටීම පුදුමයක් නොවේ. පුදුමය වන්නේ එසේ නොසිටියහොත් ය.
එහෙව් සමාජයක මිනිසුන්, රටවෙනුවෙන්, රටේ අනාගතය වෙනුවෙන් උණ්ඩයට තම ජීවිතය පරදුවට තබන්නට පෙරට යන අතලොස්සක් වූ නිර්භය අරගල කරුවන් වෙනුවෙන් සහ අරගලයේදී අසාධාරණ ලෙස සිරගත වුවන් වෙනුවෙන් අරගල භූමියට වත්, නිවසින් එලිපෙහෙලියටවත් ඒවි යැයි අපට බලා පොරොත්තු විය හැකි ද?
එසේ නම් අරගලය සාර්ථක කර ගැනීමට අපට මුළු මහත් සමාජ ක්‍රමයම වෙනස් කල යුතු වේ.
වැඩිවියට පැමිණි පසු දෙමාපියන්ගෙන් යැපෙන්නට බලා පොරොත්තුවෙන තරුණයාගේ චින්තනයේ පටන් මේ සමාජ ක්‍රමය වෙනස් කල යුතු වේ.
අනෙකෙකු ගේ දුක් ගින්දර තමන්ගේ සේ නොදැනෙන්නේ ඒ නිසා ය. තමන් පමණක් ජිවත් වීම සැහෙන්නේ යැයි සිතන්නේ එනිසාය.
අනිකා පාගා ගනිමින් එකිනෙකා සමග තරඟ කරමින් ජිවිත විනාශය දක්වා යෑම තීව්‍ර වන්නේද අභ්‍යන්තරයේ ඇති ආත්මාර්ථය නිසාය.
සුළුවෙන් පටන් ගන්නා මේ සොරකම්, ග්‍රාම සේවගේ පටන්, නගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව, අගමැති සහ ජනපති දක්වා වර්ධනය වන්නේද මේ හේතුව නිසා ය. වෙනත් රටෙක ජනපති හෝ අගමැති වරයෙක් මෙවැන්නක් කර ඇතැයි අප අසන්නේ ඉතා කලාතුරකිනි. ඒ සමාජ ක්‍රමයේ ඇති වෙනස හේතුවෙන්ය. එසේ නම් අරගලය ජය ගැනීමට අප සිතුවිලිද වෙනස් කලයුතු කාලය පැමිණ තිබේ.

මේ නිසා අරගලයට සමාන්තරව කලයුතු වෙනත් බොහෝ අරගල අතර සමාජය වෙනස් කිරීමේ අරගලයද එළිපත්ත දැකීමට කාලය පැමිණ ඇති බව හොඳින් සිහිපත් කර ගත යුතුව ඇත. එය පවතින්නේ අප අතරමය. ක්‍රියාත්මක කලයුත්තේද අපමය.

Sumith Goonetilleke

View all posts

Add comment

Your email address will not be published. Required fields are marked *