
මව හෝ පියාගෙන් යැපෙනා බහුතරයක් වූ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට සාමාන්‍ය ජනතාවගේ, එසේත් නොමැති නම් නිවෙසින් පිට මහජනතාවකගේ දුක් ගින්දර වේදනාව දැනෙන්නේද?, දැනිය හැකිද? මෙය සංවාදයට පාත්‍ර කලයුතු කාරණයක් බැවින්, ඒ සඳහා කතිකාව ආරම්භ කිරීමට මේ කෙටි සටහන ලිවීමට මා අදහස් කලෙමි.
ලමාකල ගෙවා වැඩිවියට පත්වූ තරුණ තරුණයින් තමන් ගේ අණසකට යටත්ව, තමන් ගේ අදහස් හා අභිමතාර්ථ අනුව යවමින් තමන් හා සමානම තවකෙකු මිස වෙනකෙකු ලොවට ඉතිරි නොකර මිය යන්නට බොහෝ දෙමව්පියන්ගේ බලාපොරොත්තුව වූ ශ්‍රී ලංකාවේ, තාරුණ්‍යයට මෙම රාමුවෙන් පිටතට පැනීම ඉමහත් අසීරු කාරියක් වෙන අතරම රාමුවට පිටතින් හෝ එයට ආසන්නයේ සිතීම පවා නිවැසේ පුරවැසිභාවය අහෝසිවීමටද හේතු කාරනාවක් විය හැක. ඒ බව අතීත හා වර්ථමාන සිදුවීම් මගින් අපට හොඳින් අවභෝද කරගත හැක.
ස්වාධීන චින්තනයක් නොමැතිවූ දු දරුවන්, දෙමව්පියන්ගේ පිය සටහන් ඔස්සේම පය තබනා අතර, ඔවුන් ස්වාධීන චින්තන රටාවෙන්ද ඈත්වීම පුදුමයට කාරනාවක් නොවෙන බව අප දනිමු. මේ හේතුවෙන්, දෙමව්පියන් ගෙන් උරුමවෙන ගති පැවතුම් අතර, “ගැති බවද” නිසැකවම ඔවුනට උරුමවෙනු කිසිවෙකුට වලකාලිය නොහැක.
ජීවිතය ගෙවන්නට, වගකීමක් දරන්නට, අයුක්තියට එරෙහි වන්නට සහ තම මුලික අයිතිවාසිකම් වෙනුවෙන් දෙතොල් සෙලවීමට පවා ඔවුන් මැලි වන්නේය, ඔහේ ජීවත්වීමේ ප්‍රතිඵලයක් ලෙස, ඇවිදින විටත් නිදිවැදුනු තාරුණ්‍යයක් බිහි වන්නේය. නව නිර්මාණ, නව අත්දැකීම්, දියුණුවෙන ලෝකයේ නව සොයාගැනීම් ඔවුනට මැජික් ම මිස වෙනෙකක් නොවන්නේය. මේ හේතුවෙන් අසහනයට මෙන්ම, අපහසුවට පත්වෙන තාරුණ්‍යය පිටස්තර ලෝකයක් ඉදිරියේ අතරමන් වීම සහ එතෙරට අතපෑම නොවැලක්විය හැකිය. මේ පිලිබඳ කිසිඳු අවභෝදයක් නොමැති මාපිය පරම්පරාව දරුවන් ගැන පම්පෝරි ගසමින් තව දුරටත් තම දරුවන් අසරණ කරනු විනා යහපතක් නොසලසන්නේය.
මේ පිළිබඳව මොහොතක් නැවතී සිතා බැලුවහොත්, දරුවන්ට ඔවුන්ගේ ආරක්ෂාව, ශක්තිය, ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමට ඇති අවකාශ මුළුමනින්ම අහුරා ඇත්තේද අද දවසේ තාරුණ්‍යයේ මාපිය පරම්පරාවම වෙන බව අපට සහතික ලෙසම කිවහැකි ය. එසේනම් අද දවසේ අප, ජනතාව මුහුණ දී ඇති ගැටළු වලට විසදුම් සෙවීමේ ප්‍රමාදයට අඩු වැඩි වශයෙන්, මේ තාරුණ්‍යය බිහිකළ පරම්පරාව යම් තරමකට හෝ වගකිව යුතු බව කිව යුතුව ඇත.
Add comment