” ඔබට සතුටින් සිටීමට අවශ්‍ය නම්, ලෝකයා වෙනස් කිරීමට උත්සාහ නොකර තමන් වෙනස් වන්නට වෑයම් කලයුතුයි” ලෝක ප්‍රකට පඬිවරුත්, බුදුන් වහන්සේත්, ක්‍රිස්තුස් වහන්සේත් මහුම්මත් තුමාත් ඇතුළු බොහෝ දාර්ශනිකයින්නුත් නොයෙක් ආකාර වදන් වලින් නිරන්තරයෙන් අපිට ලබාදුන් පණිවිඩයයි.
මේ පිලිබඳ කතා බහ කරන්නට ඕනෑවටත් වඩා කාලය කා දැමු අප, මොහොතකට නැවතී අප ගැනම සිතා බැලුවහොත් නිවැරදි කලයුත්තේ කොතැනද යන වග අපටම පැහැදිලිවම පෙනී යනු ඇත.
අපේ නිවෙස් වලට නිතර ගොඩවදින ගෙදර වැඩ කටයුතු වලට අත් උදව්වට ගෙදරට එන බොහෝ පිරිස් ඇත. වත්තේ ඉතිරිව තිබෙන පොල් ගස් දෙක තුනේ පොල් කඩන්නට, ගෙමිදුල අතුගා තබන්නට අම්මාට උදව්වට ගෙදරට එන අයට අප සලකන්නේ කෙසේද? එසේත් නැතිනම් ඔවුන් අපට සලකන්නේ කෙසේද යනවග සලකා බැලුවහොත් අප වරදවා ගත් තැන් ඉතා පහසුවෙන් අපටම අවබෝධ කරගත හැක.
වත්තේ වැඩට හෝ ගෙදර වැඩට ආවේද අප වැනිම මනුස්සයෙකි. වෙනසකට ඇත්තේ දුප්පත්කමය. කොහේ හෝ වූ වැරදීමකින් ඔවුන් මුල්‍යමය වශයෙන් දුප්පත්ව ඇත. දුප්පත් කමට මුදලක් හිඟා නොකා ගෙදරක වැඩපල වලට උදව් වී ජීවිතය ගැට ගසා ගන්නා ඔවුනට තමන් සමග එකම මේසයේ වාඩිවී ආහාර ගැනීමට අප කීදෙනෙක් ඔවුනට ආරාධනා කර ඇති ද? අඩුම තරමේ අප හා සමාන උස ඇති ආසනයක වාඩිවීමට වත් ආරාධනා කර ඇත්ද?
අද මුළු ශ්‍රී ලංකාවම දුප්පත් රටක් වී අවසානය. රටින් රට ගොස් හිඟා කෑම වෙනුවට රටවල් සියල්ලම එක්තැන්වූ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අප මුදල් ඉල්ලා ගන්නේය. එම ආධාර එනතුරු බලා ඉන්නේය. ආධාර ඉල්ලා (හිඟා කෑමට) ගිය රාජ්‍ය නියෝජිතයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජික රටවල් හා සමානමවූ පුටුවක වාඩිවී ගිහිඟමන් ඉල්ලන්නිය. ඔවුන් සමග එකම මේසයේ වාඩිවී දිවා භෝජනයද ගන්නේය. ඔවුන් රාජ්‍ය නායකයින්ය. එසේත් නැතිනම් අතිවිශේෂ නියෝජිතයෝය. එනමුදු ඔවුන් ශ්‍රී ලංකික නියෝජිතයින්ට මිටි ආසන වල හිඳගන්නට ඉඩ නොදුන්නේය. බත්පත බෙදා එළියේ ගලක් උඩට වී කන්නට ඉඩ නුදුන්නේය. මේ අපට ජාත්‍යන්තරයෙන් උගත හැකි මිල කල නොහැකි පාඩම් ය.
අප, රාජ්‍ය නායකයින්වත් අතිවිශේෂ පුද්ගලයින්වත් නොවේ. එසේම ඔවුන් ආවේ හිඟා කෑමටද නොවේ. එසේනම් අප ඔවුනට සැලකිය යුත්තේ කෙසේද?
අපි වෙනස් නොවී පරිසරය වෙනස් කල නොහැකිබව මින් ඉතා හොඳින් තේරුම් ගත හැකිය. මෙය අඩු වැඩි වශයෙන් ලංකාව පුරාම පැතිරී පවතින පුහු මානසිකත්වයක් බව අප සියල්ලෝම දනිමු.
පාලකයින් කතිරය ඉල්ලා හිඟා කා ආවිට මල්මාලා දමා පිළිගන්නටත්, ඔවුන් සොරාකා රට අන්ත අසරණ තත්වයකට ඇද දමා අපටම වින කරනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මත කරගත්තද ඔවුන් අපිට “තුමෙකි”. එනමුදු ලඟා නොවිය හැකි දුරින් ඇති පොල්ගෙඩියක් කඩා දී ගෙදර දොර වැඩපලට උදව් වී අපගෙන් හොරා නොකෑ අහිංසක මිනිසුන් “අර මිනිහය, අර ගෑණිය” . මෙය ඉතා සීරුවෙන් බුද්ධිමත්ව සිතා බැලිය යුතු කාරණයකි.
එසේනම් සතුටින් සිටීමට කලයුත්තේ කුමක් ද, වෙනස් විය යුත්තේ කුමක් ද, වෙනස කල යුත්තේ කව්රුන් විසින්දැයි ඔබටම වැටහෙනවා ඇත.

Sumith Goonetilleke

View all posts

Add comment

Your email address will not be published. Required fields are marked *