අ ර ග ල ය සමාජ ගතවීමත් සමගම ආගම්වාදය දියාරු වන්නට පටන් ගත්තේය. මිනිසුන්, එකිනෙකා ගේ විශ්වාසයන්ට ගරු කරන්නටත් එකිනෙකාට සහෝදරත්වයෙන් සලකන්නටත් පටන් ගත්තේය. අරගල භුමියේ තිබු සහෝදරත්වය දශක හයක කාලයක් දිවි ගෙවූ මා කිසිදිනෙක අත්වින්ද නොතිබුනේය.
අරගලයට ජලය, ආහාර, කුඩාරම්, පෝස්ටර් සහ අනෙක විධි උපකාරයන් කරනා සමයේ, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් හා බෞද්ධ විශ්වාසයන් දරන්නෝ එක හා සමානව අප හා අත්වැල් බැඳ ගත්තෝය.
අ ර ග ල ය බිහිකළ “බුද්ධිමත් දරුවා” ජාතින් අතර සමගියයි, ආගම් අතර සමගියයි. වසර 75කට ආසන්න කාලයක් තිස්සේ ජනතාව වර්ගීකරණයට ලක්කරමින් උනුන් බෙදා, කොටවා බලය උරගා බැලූ දේශපාලකයින්ට අ ර ග ල ය විෂ පෙවූ හීයක් බඳු වුයේ එහෙයිනි. අරගලයේ අවි ආයුධ නොතිබිණි, තිබුනේ ආදරයේ මල්, සිනාව සහ බැඳීම පමණි. දිනෙන් දින ගිලිහී යන පාලකයින් සතුව තිබූ අදුර්ශමාන බලවේගය හෙවත් “වර්ගවාදය” මරණ මංචකයේ වීම පාලකයින්ගේ පැවැත්ම රඳා පැවති වර්ගවාදයේ බිත්ති ඉරිතලා යවන්නට සමත්විය. මෙය දරා ගන්නට පාලක පන්තියට නොහැකිවිය. ඔවුන් තමන්ගේ රෙදි ගලවා හෙලුවෙන්ම රනිල්ට චන්දය දී ඔහු රාජ්‍ය නායකයා බවට පත්කළේය.

රනිල් ජනාධිපතිවීමෙන් අනතුරුව දළඳා මාලිගාව අභියස පැවත්වූ කතාවේදී පැමිණි සිටි සියලුම පක්ෂ එක කණ්ඩායමක් හැටියටද, ඔවුන් සියල්ලන්ටම එකතුවිමටද ආරාධනා කරන ලද්දේ ද එකට එක්වී සතුරා ජයගනිමු යි යන අරමුණ පෙර දැරි කර ගෙනය. මෙහිදී රනිල් දුටු සතුරා අරගලයට පැමිණ සිටි පීඩනයෙන් මිරිකී සිටි පොදු ජනතාවයි. එසේ නම් රනිල් ඇතුළු අනෙකුත් පක්ෂ නියෝජනය කල මැති ඇමති වරුන්ගේ පොදු සතුරා වූයේද එක්සත්ව, එකම අරමුණක් කරා අ ර ග ල කල පොදු ජනතාවයි.

දේශපාලකයින්ගේ කපටි කයිරාටික චේතනාවන්ට හසුවෙන අහිංසක පොදු ජනතාව මින් ගලවා ගැනීමට ඔවුන් බුද්ධිමත් කල යුතුය. මෙම පණිවිඩය එකිනෙකා අතර බෙදා, කතිකා කරමින් අවබෝධ කරගත යුතුය. යටත් විජිත සමයෙන් උරුම කරගත් දීන සිතුවිලි වලදමා, නව ආරකට සිතන්නට මග පෙන්විය යුතුය. එය මදකට විරාම තැබූ අරගලයේ ක්‍රියා කාරීන්ගේ හෙට දවසේ වගකීම වෙනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි. එසේ නොවුව හොත් ලක්ෂ ගණනක් පොදුජනතාව එක්වී බිහිකළ ඒ “බුද්ධිමත් දරුවා” අකාලයේ මිය යනු නො අනුමානය.

Sumith Goonetilleke

View all posts

Add comment

Your email address will not be published. Required fields are marked *